මාක්ස් කියවමු 4
වචන පිහිතල
වගේය. පිහිතලයෙන් කේක් කපන්නටද, මිනී මරන්නටද පුළුවන. වචන ගැළපීමෙන් උත්පාදනය වන අර්ථද
අහිංසක හෝ මාරාන්තික විය හැකිය. පසුගිය සතියේ පළ වූ ලිපියේ දෝෂ සහගත අරුතක් වහා
නිවැරදි කරගත යුතුව තිබෙයි. එම දෝෂ සහගත තැන මෙයයි.
“කවර පක්ෂයක
වුවද මාක්ස්වාදය විශ්වාස කොට දේශපාලනයේ යෙදෙන උන්මත්තක තාරුණ්‍යයේ ජාතිවාදී සිංහලේ
තරුණයන්ට වඩා ශ්‍රේෂ්ඨයෝ වෙති
උන්මත්තක යන
වචනය වැරදි තැනක යෙදීමෙන් මා නොසිතූ අර්ථයක් මතුව ඇත. මාක්ස්වාදය ගුරු කොටගත් තරුණ
තරුණියෝ උන්මත්තකයෝ නොවෙති. උන්මත්තකයන් වන්නේ ජාති ආගම් මත්තෙහි නැහෙන්නෝය. ඉහත
වාක්‍ය මෙසේ නිවැරදි විය යුතුය.
“කවර පක්ෂයක
වුවද මාක්ස්වාදය විශ්වාස කොට දේශපාලනයේ යෙදෙන
තරුණයෝ උන්මත්තක ජාතිවාදී සිංහලේ තරුණයන්ට වඩා ශ්‍රේෂ්ඨයෝ වෙති*
දැන් අප
මාක්ස් දෙසට හැරෙමු.
තරුණ
මාක්ස්ගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කළ පුද්ගලයෙකු වූයේ මාක්ස්ගේ බිරිඳගේ පියා
ලුද්විග් පොන් වෙස්ට්පාලන් බව පසුගිය සතියේ ලිපිය තුළ අපි පැවසුවෙමු. මාක්ස් හා
ලුද්විග් අතර වූ සම්බන්ධය කුමනාකාරද? තමාගේ දියණිය සමග කාල්මාක්ස් ප්‍රේමසම්බන්ධයක්
පවත් වන බව දැන ගන්නා ලුද්විග් වෙස්ට්පාලන් සිටුවරයා ඊට විරෝධය දක්වන්නේය. එහෙත්
අතීතයේ සැඟවී යා යුතු චරිතයක් බවට පත්වීමට තිබූ ලුද්විග් පොන් වෙස්ට්පාලන් ගැන
වර්තමානයේ කතාබහ කරන්නේ කාල් මාක්ස් නිසාය. තම විරෝධය නොතකා තම දියණිය වන ජෙනීව
විවාහ කරගත් කාල් මාක්ස් නිසාය.
ලුද්විග්
වෙස්ට්පාලන් කාල් මාක්ස්ගේ පියාවන හෙන්රික් මාක්ස්ටත් වඩා වසර දොළහකින් පමණ
වැඩිමහල් පුද්ගලයෙකු වූයේය. ලුද්විග් වෙස්ට්පාලන්ගේ පළමු බිරිඳ වන්නේ Jeanie
Wishart ය. ඇයට දාව දරුවන් හතර දෙනෙකු උපත ලැබූ අතර, ඇගේ මරණයෙන්
පසු ලුද්විග් වෙස්ට්පාලන් Caroline Heuble සමග විවාහ විය.
ඇයට දාව දරුවන් තිදෙනෙකු උපත ලබන අතර,
කාල් මාකස්ගේ ප්‍රිය බිරිඳ ජෙනී එම දරුවන් අතරින් වැඩිමහල් දරුවා වූවාය. වෙස්ට්පාලන්
පවුල මාක්ස්ගේ නිවස අසලට පදිංචිය සඳහා පැමිණෙන අතර, ඔවුන් ධනවත් පවුලක් බව සඳහන්
වෙයි. මාක්ස්ගේ පියා හා ලුද්විග් වෙස්ට්පාලන් නගරයේ නීති ක්ෂේත්රයේ සේවය කළ අතර, ඔවුහු
කුඩා වූ ප්‍රොතෙස්තන්ත සභාවේ සාමාජිකයෝද වූහ. මාක්ස් පවුල හා වෙන්ට්පාලන් පවුල අතර
සමීප සම්බන්ධතාවයක් ගොඩනැගෙන අතර, ජෙනී මාක්ස්ගේ වැඩමහල් සොහොයුරිය වන සොපියා සමග
මිතුරු වන්නීය. අල්ලපු ගෙදරට පැමිණෙන ජෙනී ගැන, නැතහොත් තම සොහොයුරියගේ මිතුරිය
ගැන ආදර සිතක් කාල් මාක්ස්ගේ සිත තුළ මෝදු වන්නේ කුඩා කලදීමය. කුඩා වයසේදී වුවද ප්‍රේම
සිත් උපදින්නේය. එය නම් අපූරු මානුෂික බැඳීමක් වන්නේය. ඇය දැකීමේ ආශාවක්, ඇය අසල
ගැවසීමේ ආශාවක් කුඩා සිත්හි උපදින්නේය. ඕනෑම මනුෂ්‍ය‘යෙකුට එවැනි අද්දැකීම්
තිබෙයි. තම නිවසට පැමිණෙන ජෙනීත්, ජෙනීගේ නිවසට යන මාක්ස්ටත් එවැනි වූ ප්‍රේමණීය
සිතක් උපදින්නටද ඇත.
කාල් මාක්ස්
හා ජෙනීගේ පියා අතර මිත්‍රත්වයක් ගොඩනැගෙන අතර, මාකස්ගේ පියාද එම මිත්රත්තවය
ඉහළින්ම අගය කරන්නේය. තම පුතා වෙස්ට්පාලන්ගේ ඇසුරට යොමුවීම ගැන මාක්ස්ගේ පියා සතුටු වන්නේය. ලුද්විග්, වෙස්ට්පාලන් සංස්කෘතික
මිනිසෙකු වන්නේය. ඔහුට ඉංග්‍රීසි හා ජර්මන් භාෂා කතා කිරීමට හැකියාව තිබුණ අතර,
ලතින් හා ග්‍රීක් භාෂාවෙන් කියවීමටද හැකියාව තිබුණේය.
කාල් මාක්ස්ගේ
දියණියක් වූ එලනෝරා මාක්ස් ලියා තිබූ සටහනකට අනුව කාල් මාක්ස් Voltaire හා Racine ගැන දැන ගත්තේ සිය පියාගෙනි. හෝමර්
(Homer) හා ශේක්ස් පියර් (Shake spear)
ගැන ඉගෙන ගත්තේ ලුද්විග් වෙස්ට් පාලන්ගෙනි. ලුද්විග් හා කාල්
මාක්ස් කොතරම් මිතුරුව සිටිය දැයි පැවසුවහොත්, ඔවුන් දෙදෙනා එකට ඇවිදින්ට යන්නෝය.
එකට කඳු නගින්නෝය. වෙස්ට් පාලන් සිටුවරයා ඇසුරු කිරීම නිසා මාක්ස්ගේ බුද්ධිමය නිම්වළලු
පුළුල් වන්නට ඇත. රොමැන්ටික්වාදය පිළිබඳවද මාක්ස් මුලින්ම දැන කියාගත්තේ වෙස්ට්
පාලන් සිටුවරයාගෙනි.
1835
ඔක්තෝබර් මාසයේදී මාක්ස් බොන් විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන්නේය. එවකට
මාක්ස්ගේ වයස අවුරුදු දාහතක් පමණ වන්නේය. එහිදී ඔහු එකල ජනප්‍රියව පැවති
රොමැන්ටික්වාදයේ (Romanticism) බලපෑමට තදින්ම හසුවුණේය.
වෙස්ට් පාලන් සිටුවරයාගේ ඉගැන්වීම්ද ඒ සඳහා බලපාන්නට ඇත.
තරුණ වියට එළැඹි
ජෙනීගේ රූප ස්වභාවය ගැනද සඳහන් කළ යුතුය.
“Jenny,with her dark auburn hair and green eyes was widely noticed
in Trier and had even been chosen as Queen of the Ball*
ජොනීගේ රූමත්
භාවය ගැන කාල් මාක්ස් ආඩම්බර විය. ප්‍රීතිමත්
විය. එය තරුණ වියේදී පමණක් නොව දරුවන් ලැබුණු පසුද එය එසේම විය. ලාංකේය බොහෝ
මාක්ස්වාදීහු ස්ත්‍රියගේ සුන්දරත්වය හමුවේ ගල් ගිල දැමූ ඉබ්බමන් මෙන් ගොළුවෙති.
සුන්දරත්වය මාක්ස්වාදයට පටහැනි යැයි සිතයි. ඇතැම්හු නොනාති. රැවුල් වවා හඩු ඇඳුම්
අඳිති. රෙදි නොසෝදති. රබර් සෙරෙප්පු දමති. අපිරිසිදුකම හා මාක්ස්වාදය අතර
සම්බන්ධයක් නැත. සාමාන්‍ය ජනයා මාක්ස්වාදියා ගඳ ගහන හඩ්ඩෙකු යැයි සිතන්නේ මේ වැරදි
පූර්වාදර්ශය නිසාය.
මාක්ස්
බිරිඳගේ රූප සොබාව ගැන ආඩම්බර වුණේ ඇයි? මම වැනි ප්රඥයෙකුට එය නොසුදුසු යැයි සිතා
මාක්ස් සුන්දරත්වය මඟ නොහැරියේ ඇයි? ජෙනීගේ තරුණවියේ ඡායාරූප දකින කල්හි ඇය කෙතරම්
සුන්දර කාන්තාවක් දැයි උපකල්පනය කිරීමට පුළුවන. මේ ධනවත්, රූමත්, වංශවත් ගැහැනිය විවාහය සඳහා කාල්
මාක්ස්ව තෝරා ගත්තේ ඇයි? තමාට සැපවත් ජීවිතයක් කාල් මාක්ස්ට ලබාදිය නොහැකි බව ඈ
දැන සිටියාය.
අතිමහත් වූ
දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන බවත්, ඈ දැන සිටින්නට ඇත. මේ සුන්දර දයාබරිත
ගැහැනිය නොවන්නට කාල් මාක්ස්ගේ දර්ශනය, න්‍යාය ගැන කතා කිරීමට අපට නොහැකි වනු ඇත.
ඈ එතරම්ම ඉවසුවාය. මාක්ස්ට ධෛර්යද, ශක්තියද ඇය සැපවූවාය.
nadeeshdikkumbura.blogspot.com
Comments
Post a Comment