මාක්ස් කියවමු - අංක 01 තරුණයා පුවත්පත 2015 ජනවාරි 30



යමක් ලිවීමේදී ලිවීම සම්බන්ධව සිතා බැලිය යුතු කරුණු කාරණා කිහිපයකි. ඒ, අප ලියන්නේ කුමක්ද? කා සඳහාද? ලිවීමේ අරමුණ කුමක්ද? යන්නය. අප ලියන්නේ අනෙකාගේ දැනුම සඳහා නම් දැනුම සඳහා ලිවීම මේ මොහොතේ තේරුමක් නැත. දැනුම ලබාගත හැකි බොහෝ අවකාශයක් මනුෂ්‍යයා ඉදිරියේ දැන් විවෘතව පවතියි. දැනුම සඳහා ලිවීම, ලිවීවේ පරණ මොඩලයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය පිළිගන්නවා නම් වානරයාගෙන් මනුෂ්‍යයා දක්වා ආ ගමන තුළින්ම දැනුම ලබාගත්තේය.
වානරයා මනුෂ්‍යයා බවට පත් වූයේද දැනුමෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. දැනුම මානව ශිෂ්ටාචාරය තුළ මනුෂ්‍යයා බොහෝ දුර රැගෙන ආවේය. දැනුමට විසඳිය නොහැකි අර්බුධ ශිෂ්ටාචාරය තුළ පැන නැගුණු විට දැනුමට කළ හැක්කේ කුමක් දැයි කියා මනුෂ්‍ය ‘යෝ සිතන්නට පටන් ගත්හ. දැන් ලෝකයට අවශ්‍ය දැනුම නොව අවබෝධයයි. ඥානය නොව ප්‍රඥාවයි. දැනුම සුලබය. අවබෝධය දුලබය. දැනුම ලබාගැනීම පහසුය. අවබෝධය ලබාගැනීම අපහසුය. පරිගණකය ඉදිරියේ වාඩි වී ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සම්බන්ධව දැනුමක් අන්තර්ජාලය හරහා ක්ෂණයකින් ලබාගත හැකිය. දැනුම තොරතුරු මුල්කරගෙන පවතියි. තොරතුරු දැනුමෙන් බිහිවන උගතුන් ඕනෑ තරම් අපට හමුවෙයි. අන්තර්ජාලයද තොරතුරු දැනුමෙන් සන්නද්ධ මහා උගතෙකි. උගතුන් අතර මහා උගතා අන්තර්ජාලයයි. බුදුන් වහන්සේ වදාළ මුළු ධර්මස්කන්දයම ජී.බී. එකක ගබඩා කර තැබිය හැක. අවශ්‍ය කොටස් මොහොතකින් ලබාගෙන කියවිය හැකිය. තොරතුරු දැනුම මොළයෙන් පරිගණකයට මාරු වී තිබේ. තොරතුරු දැනුමෙන් මිනිස් මොළය නිදහස් කර ගත යුතුව තිබේ. තොරතුරු දැනුම පරිගණකයටදී මිනිස් මොළය අවබෝධයට, ප්‍රඥාවට නිදහස් කර ගත යුතුව තිබේ. තොරතුරුවලින් මොළ පුරවා ගැනීම වෙනුවට, අවබෝධයෙන් මනස විකසිත කර ගත යුතුව තිබේ. මේ ලිපි මාලාවේ අරමුණද එයයි. තොරතුරු ඉක්මවා ගිය අවබෝධය ලැබීම පිණිස මෙම ලිපි මාලාව අපගේ නැණ පමණින් මෙසේ ආරම්භ කරන්නෙමු.
මේ ලිපි මාලාව ලියන්නට ප්‍රධාන කතෘතුමා මා හට පවසද්දී අපූරු කතාවක් පැවසිය. ඒ කතාව මෙසේය. මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකුට අයත් ආයතනයක රූපවාහිනිය සොයා ගත් ජෝන් ලෝගි බෙයාර්ඩ්ගෙත්, ගුවන් විදුලිය සොයාගත් මාර්කෝරිනිගෙත් ඡායාරූප එල්ලා තිබුණේය. දිනක් මේ ආයතනයට පැමිණි තරුණයෙක් මේ ඡායාරූපය කාගෙදැයි විමසූවේය. එවිට ආයතනයේ හිමිකරුවන් දෙදෙනා මෙම පුද්ගලයන් දෙදෙනාගේ ඡායාරූප පෙන්වා පවසා ඇත්තේ මේ අප දෙදෙනාගේ සීයලා දෙදෙනා බවය. එවිට තරුණයා පවසා ඇත්තේ ඔබලාට වඩා සීයලාගේ පෙනුම වෙනස්නෙ කියාය. පසුව ඔවුන් දෙදෙනා මේ ඡායාරූපවල සිටිනේනේ රූපවාහිනියත්, ගුවන් විදුලියත් සොයාගත් පුද්ගලයන් බව පවසා තිබේ. එවිට තරුණයා පවසා ඇත්තේ ඔවුන් ගැන දැන ගැනීමෙන් මට කිසිදු ප්‍රයෝජනයක් නැති බවත්, මම රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් වැඩක් ගන්නවා නම් ඒවා හදපු අය ගැන  දැනගැනීමෙන් වැඩක් නැති බවත්ය. මේ තරුණයා මෝඩයෙකු යැයි අපිට පැවසිය හැකිද? ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවෙක් ජෝන් ලෝගි බෙයාර්ඩ් හා මාර්කේනිව හඳුනාගනු ඇත. ඔවුන් පිළිබඳ තොරතුරු දැන සිටිනු ඇත. දොස්තර කෙනෙක්, නීතිඥයෙක්, ඉංජිනේරුවෙක්, මාර්කෝනි හා ජෝන් ලෝගි ගැන නොදැන සිටීමට පුළුවන. දැනුම තිබෙන්නේ දන්නා දෙය හා නොදන්නා දෙය අතරය. දැනුම තිබෙන්නේ අර්බුදයකය.
මේ ලිපි පෙළ අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ කාල් මාක්ස් පිළිබඳ කියවීමකිනි.  කාල් මාක්ස් ගැන මම දන්නවා. ඔබ කිසිවක් දන්නේ නෑ  කියන සිතුවිල්ලෙන් ලිවීම ආරම්භ කළහොත්, අප අසාර්ථකය. ලෝකයේ සිටින සියල්ලෝ සියල්ලම නොදනිති. සියල්ල දැනගැනීමට අවශ්‍ය නොවෙති. අවශ්‍යතාවය අනුව දැනගැනීම සිදුවෙයි. අවශ්‍යතාවය අනුව දැනගැනීමට පොළඹවයි. කාල්මාක්ස් ගැන මම දන්නෙ නෑ. ඒ නිසා මම මෝඩයෙකි. කාල් මාක්ස් ගැන එයා දන්නවා, ඒ නිසා එයා උගතෙකු යැයි සිතීමම දැනුමේ අර්බුදය නියෝජනය කිරීමකි. දන්නා නොදන්නා දේ අනුව උගත්කම මැනීමත් යල්පැන ගොස් ඇත. නොදන්නා දෙය වේගයෙන් දැනගත හැක. කාල් මාක්ස් ගැන මේ මොහොතේ කිසිවක් නොදන්නා පුද්ගලයාට පැය තුන හතරකින් කාල් මාකස් ගැන බොහෝ තොරතුරු දැනගත හැකි දැනුම් අවකාශයක් අප ඉදිරියේ තිබෙයි. පැය තුන හතරකට පෙර කාල් මාක්ස් ගැන කිසිවක් නොදැන මෝඩයෙකු ලෙස හැඳින් වූ පුද්ගලයා පැය තුන හතරකට පසු කාල් මාක්ස් ගැන බොහෝ තොරතුරු දැන උගතෙකු වී තිබෙයි. නොදන්නාකමේ කාල පරාසය වේගයෙන් අඩු වෙමින් පවතියි. කාල් මාක්ස් ගැන දැනගැනීමට ගුරුවරුන් පසුපස යා යුතු නැත. ගුරුවරයා තොරතුරු දැනුම ඉදිරියේ ශිෂ්‍යයාට පරාජය විය හැක. ගුරුවරයාගේ ඉගැන්වීමද දැනුමෙන් අවබෝධයට මාරු විය යුතුව තිබේ.
අප මේ මොහොතේ කාල් මාක්ස් පිළිබඳ හැදෑරිය යුත්තේ ඇයි?  මම කාල් මාක්ස් ගැන දන්නවා. මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම දන්නවා. ප්‍රාග්ධනය ගැන දන්නවා. දයලෙක්තික භෞතිකවාදය ගැන දන්නවා* කියමින් මහා ප්‍රාඥයෙකු ලෙස පෙනී සිටිමින් සමාජයේ වීරයෙකු වීමටද,  මුන් මාක්ස්ව දන්නෙ නැති මැට්ටෝ  කියමින් පොරවල්වීමට දඟලන්නන් පසුගිය දශක දෙක පුරා අපි දැක ඇත්තෙමු. ඔවුහු උගතුන් වූහ. ඔවුහු ගෝත්‍ර, කණ්ඩායම්, පොරවල්, නිකායවල්, ශිෂ්‍යයෝ සෑදූහ. ඔවුන් සමාජයට කරන ලද එකම සේවය නම්, අපි සියල්ල දන්නා මහා ප්‍රාඥ‘යෝය. තොපි කිසිවක් නොදන්නා මැට්ටෝය. ඒ නිසා මැට්ටෙකු නොවී ප්‍රඥයෙකු වන්නට අපේ ගෝත්‍රයට එකතු වන්නට යැයි පැවසීමය. ඒ ගෝත්‍රවලට සම්බන්ධ වූවෝ කාල් මාක්ස්ටත් වඩා කාල් මාක්ස් ගැන දන්නා පණ්ඩිතයෝ වූහ. ඔවුන්ගේ කතාබහද, ලිවීම්ද පණ්ඩිතමානීය. හිතාමතාම ලිවීම් දුරවබෝධ කළේය. සංකීර්ණ කළේය. මේ සියලු තැන්හි පෙනුණේ තමන්ට පොරවල් වීමේ පුද්ගලවාදී ආශාවයි. බුද්ධිමතෙකු වීම වෙනුවට බුද්ධිමතෙකු ලෙස පෙනී සිටීමේ කැමැත්ත නියෝජනය වන ආකාරය අපි දුටුවෙමු.
නිවසේ ගෘහනියක ලෙස ජීවත්වන මවකට කාල් මාක්ස් ගැන දැන ගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? නගර සභාවේ කුණු ට්‍රැක්ටරය එළවන්නාට කාල් මාක්ස් ගැන දැනගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? කඩේ මුදලාලිට, දොස්තරට, ව්‍යාපාරිකයෙකුට, ගුරුවරයෙකුට, ශිෂ්‍යයෙකුට කාල් මාක්ස් ගැන දැන ගැනීමෙන් ඇති ප්‍රයෝජනයක් කුමක්ද?
කාල් මාක්ස්ගේ මාක්ස්වාදී දර්ශනය ප්‍රායෝගික දර්ශනයක් බව මාක්ස්වාදී විද්වතුන්ගේ පොදු අදහසය. කම්කරු  නිර්ධන පංතියේ ජනතාවට විමුක්තිය ලබාගත හැකි න්‍යාය මාකස් ගොඩනැගුවේය. එය දේශපාලන යථාර්ථයක් බවට පත්කිරීමට ලෙනින්ට හැකියාව ලැබුණේය. ලෝක දේශපාලන  ආර්ථිකය මේ මොහොතේ භ්‍රමණය වන්නේ මතවාදී යන්ත්‍රයක් බලගැන්වීමෙනි. අප කැමති වුවත්, අකමැති වුවත් අපට ජීවත් වීමට සිදුව තිබෙන්නේ ධනවාදී සමාජ ක්‍රමයක් තුළය. ශෘහනියද, ශිෂ්‍යයාද, දොස්තරද කුණු අදින්නද ජීවත් වන්නේ ධනවාදය තුළය. ධනවාදය විසින්, මානව ශිෂ්ටාචාරය තුළ අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබේ. ඒ වාට විසඳුම් ධනවාදය තුළ නැති බව  දැන් පැහැදිලිය. අධ්‍යාපනික, සෞඛ්‍ය, පාරිසරික අර්බුදයන් හි වර්ධනයක් මිස පිළිතුරක් ධනවාදය තුළ නැත. ධනවාදයේ කෙළවරේ සිටින  අප වැනි තුන්වෙනි ලෝකයේ රටවල් මෙවැනි අර්බුදවලට මුහුණ දෙන්නේ ධනවාදය පූර්ණ නොවීමෙන් කියා තර්කයක් ගොඩනැගිය හැකිය. දියුණු ධනවාදී රටවල අධ්‍යාපනික, සෞඛ්‍ය, ආර්ථිකමය ප්‍රශ්න නැති බව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙකුට පැවසිය හැකිය. එහෙත් ධනවාදී රටවලටද පරිසරය පිළිබඳ ගැටලු තිබේ. පරිසර දූෂණය පිළිබඳ ගැටලු තිබේ. මානූෂික සම්බන්ධතා බිඳවැටීමෙන් මනුෂ්‍යයෙන්  හුදකලා වීම, මනුෂිකත්වයෙන් ඈත් වීම වැනි ගැටලු තිබේ. ලෝක බලවතුන් විසින් නිර්මාණය කරන යුද්ධ හා කැරළිවලට මුහුණ දීමටද, ඒවායේ අතුරු ප්‍රතිඵල ලෙස ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට මුහුණ  දීමටද ධනවාදී රාජ්‍යයන්ට සිදුවී තිබේ. යුද්ධයට යුද්ධයෙන්ම පිළිතුරු දීමට යාම තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මරණයට පත්වෙමින් අනාථයන් බවට පත් වී තිබේ. බලවත් රාජ්‍ය දරුණු ගනයේ ආයුධ නිෂ්පාදනය කරමින්, මුළු පෘථිවියම බරපතළ අනතුරක් කරා ගෙන යමින් තිබේ. සමස්ත ලෝකයේ මානවයාට විසඳුමක් සෙවිය යුතුය. අඩුම තරමේ එවැනි විසඳුමක් දර්ශනවාදයක් තුළ තිබේ දැයි සොයා බැලිය යුතුය.
අපි හොඳට බීලා විනෝදයෙන් ඉන්නවා නම් අපිට මොකටද මාක්ස්. අපිට මොකටද දර්ශනය. ඔබට එසේ සිතෙනවා නම් එය ඔබේ සිතීම පිළිබඳ ගැටලුවකි. සමාජයේ වෙනසක් ඇති කිරීමට මතවාදයක් අවශ්‍ය වෙයි. මතවාදය බලපෑමකි. සමාජ මානුෂික අර්බුදවලට සංවේදී නොවන මනස සංවේදී කිරීමට මතවාදයට හැකියාව ලැබෙයි. මතවාදය සෑම විටම සත්‍ය නියෝජනය නොකරන්නේය. මාක්ස් වාදයත්  මතවාදයකි. සිංහලේත් මතවාදයකි. මාක්ස්වාදී මතවාදයත්, සිංහලේ මතවාදයත් අතරින් වඩා මානව හිතවාදී වත්මන් අර්බුදයට පිළිතුරු ඇත්තේ මොන මතවාදයේ දැයි දැන ගැනීමට මත වාදයක් පිළිබඳ අවබෝදයක් ලබාගත යුතුය. එසේත් නැතිනම්  සිදුවන්නේ කාල් මාක්ස් කියන්නේ ජේ.වී.පී.කාරයෙක්, අනුර කුමාරගේ මුත්තා කියා සිතන දුර්වල සිතීම්වල කොටු වන්නටය.
අප කාල් මාක්ස් ගැන ලියන්නේ කියවන්නේ සියල්ලක්ම මාක්ස්වාදීන් කිරීමට නොවේ. ජේ.වී.පී. කාරයන් කිරීමටද නොවේ. මාක්ස් ජේ.වී.පී. කාරයෙකු නොවේ. මාක්ස් පැවසූ දේශපාලන න්‍යාය, දර්ශනය එකක් නම් මාක්ස්වාදී දර්ශනය පදනම් කරගෙන ලෝකයේ විවිධ පක්ෂ, කණ්ඩායම්, ව්‍යාපාර බිහිවූයේ කෙසේද, ඔවුන් මාක්ස්ගේ දර්ශනය විවිධ ලෙස අර්ථගන්වා තිබේ. ජනතා විමුක්ති පෙරමුණෙත් මාක්ස් ලෙනින් සිටිති. පෙරටුගාමී පක්ෂයෙත්, සමසමාජ පක්ෂයෙත්, කොමියුනිටිස් පක්ෂයෙත් මාක්ස් ලෙනින් සිටිති. එක දර්ශනික මතවාදයක් ලෝකයට පෙන්වා දුන් කාල් මාක්ස් විවිධ අර්ථ යටතේ විවිධ පක්ෂවල සිටියි. එය ලෝකයේ ඕනෑම දර්ශනයකට, ආගමකට, මතවාදයකට සිදුවන දෙයකි. බුද්ධ දේශනාව එකක් නම් විවිධ නිකාය බිහි වූයේ  කෙසේද, මහායාන ථේරවාද ලෙස බෙදුණේ ඇයි? අප පිළිගැනීමට කැමති කොටස අප අර්ථ දැක්වීමට කැමති කොටස අපි කඩා ගන්නෙමු. විවිධ කොටස්, විවිධ ආසා ඇති විවිධ අරමුණු ඇති පුද්ගලයන් කණ්ඩායම් පක්ෂ කඩාගත්පසු කාල් මාක්ස් ඒ හැමතැනකම සිටින්නේය. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයටම පොදු තත්ත්වයක් වන්නේය.
මාක්ස්වාදය එකීය මතවාදයක් නොවුණේය. මාක්ස්වාදය රටවලට අනුව බහුමානයක් නියෝජනය කළේය. රට රටවල අවශ්‍යතාවය අනුව අනුවර්තනය වුණේය. නිවැරදි වීම්, වැරදි වීම්, අඩු කිරීම්, වැඩි කිරීම් සිදු වුණේය. සෝවියට් සංගමයේදී මාක්ස්වාදය, ලෙනින්වාදය  වුණේය. චීනයේ මාක්ස් වාදය මා  වාදය කියුබාවේ කැන්ට්‍රොවාදය ලෙසද සංස්කරණය විය. ලංකාවේද මාක්ස්වාදය විජේවීරවාදය විය. අසාර්ථක තරුණ කැරිළි දෙකකින් ජීවිතද දේපළද විනාශ වුණේය. එහෙත් මාක්ස් වාදය විවිධ රූපකායන් ගනිමින් ලංකේය දේශපාලනයේ ප්‍රබල මනසක් අද ද නියෝජනය කරන්නේය.
අප මාක්ස් ගැන ලියද්දී ලින්නාගේ කැමැත්ත නියෝජනය වීම නිසා ලිවීම ලියන්නාගේ ආභාසයේ පරාවර්තනයක් බවට පත්වෙයි. කාල් මාක්ස්ගේ දර්ශනයෙන් ලියන්න කොටසක් කඩාගෙන අර්ථ ගන්වන්නේය. එය මාක්ස්වාදය ආරක්ෂා කරන ආරක්ෂාවාදී ලිවීමටත් හෝ මාක්ස් වාදය ප්‍රතික්ෂේප කරන ලිවීමක් විය හැකිය. අර්ථය පිළිගැනීම හෝ නොපිළිගැනීම කියවන්නාගේ විචාර බුද්ධිය අනුව සිදුවන්නකි.
පක්ෂග්‍රාහී අගතිගාමීත්වයෙන් තොරව ලිවීමට අපි උතසහ කරන්නෙමු. එහෙත් ලියන්නාගේ අවිඥානි ආසාව සෑම ලිවීමකින්ම හඳුනා ගැනීමට පුළුවන.
ලබන සතියට.
නදීෂ් දික්කුඹුර

Comments

Popular posts from this blog

මාක්ස් කියවමු 3

මාක්ස් කියවමු 9