විදර්ශනා 01



ඔන්න එකමත් එක රටක හිටියා.. කියලා කතන්දර අහන්නයි අපි හැමෝම කැමතියි. හැම කතාවක්ම පටන් ගන්න විදිහක් තියෙනවා. ඉතිං මේ කතාවටත් එහෙම මොනවා හරි විදිහක් හැදෙයි. හැබැයි ඒ හැදෙන්නේ මට ඕන විදිහ, පිට ඉඳන් මට ඕනේ විදිහට කතාව හදන්නේ මොකටද? මමත් බහිනවා කතාව ඇතුළට. කතාව ඇතුළෙ ඉඳන් කතාව හදන එක ලේසියි, එළියෙන් ඉඳන් හදනවාට වඩා.
කැමති නම් ඔයාලට මේ කතාව දිගේ එන්න පුළුවන්. නැත්නම් නතර වෙන්න පුළුවන්. වාක්‍ය දිගේ ඔයාලා මෙතනටම ආවා නම්, වාක්‍ය දිගේ තව ගොඩක් දුර යන්න තියෙනවා. මුළු ජීවිතේම වාක්‍ය දිගේ අර්ථ හොය හොයා යන ගමනක් තමයි අපිට තියෙන්නේ.

විදර්ශනා...
“ඇයි, ඔය විදිහට මං දිහා බලන්න එපා..."
“ඕනෙම පිරිමියෙක් කැමති වෙන මූණක් ඔයාට තියෙන්නේ... පුංචි හාවියක් වගේ. මට හිතෙනවා හුස්ම හිරවෙනකම් ඔයාව තුරුලු කරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න. ඔය රෝස පාට මූණ රතු වෙනකම්..."
“ඔයා බැඳපු මිනිහෙක් නේද? දරුවෙක්ගෙ තාත්තා කෙනෙක් නේද? ඇයි ඔහොම හිතන්නේ..."
‘“මං එහෙම හිතුවෙ නෑ... මට එහෙම හිතුණා... ගොඩක් මිනිස්සු හිතෙන දේවල් කියන්නෙ නෑ..."
“හිතෙන දේවල් නොකියවන එකට තමයි ජීවත් වෙනවා කියන්නේ... මිනිස්සු ජීවත් වෙන්නේ හිතෙන දේවල් හංගගෙන. මෝඩයෙක් වගේ හිතෙන හැම දේම කියවන්න එපා..."
“විදර්ශනා..."
“ඇයි?"
“පළවෙනි වතාවට මං කැමතිම ගෑනු ළමයා හැදෙනවා."
‘“කොහෙද?"
“මෙතන*
“කවුද එයා*
“විදර්ශනා, ඔයා තමයි එයා*
“ඔයාට පිස්සු*
“නෑ... මං තමයි ඔයාව හදන්නෙ, ඔයා මගේ.....*
“මේ මොන විකාරයක්ද? තවත් මට ළං වෙන්න එපා...*
“විදර්ශනා, මං ඔයාට ආදරෙයි කියලා බොරුවක් කියන්නෙ නෑ... මොකද මං ඒ බොරුව එක පාරක් කිව්වා. ඔයා දන්නවද ඒ බොරුව හැමෝම ඇත්ත වගේ කියන බොරුවක් කියලා. මං ඔයාගේ ඇඟට අතවත් තියන්නේ නැතුව ඉන්නවා.*
“ඒකත් බොරුවට නේ...*
“ඔව්. සේරම බොරුවට තමයි. ඒ බොරුව වගේම ඔයාව ආරක්ෂා කරයි. බොරුවකින් හරි ගෑනියෙකුට ආරක්ෂාවක් ලැබෙනවා නම්, ඒක ලොකු දෙයක්.*
“ඔයා හිතන්නේ මං ඔයා එක්ක ලිංගිකව හැසිරෙන්න බලාගෙන ඉන්නවා කියලද?*
“ඔව්, හැම පිරිමියෙක්ම ගැහැනු සම්බන්ධයක දී ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි එහෙම නෑ වගේ වෙන බොරු කියකියා ඉන්නවා.*
“ඔව්, වචන වාක්‍ය තේරුම්වලින් ගලවලා අයින් කළාම ඇත්තට පවතින එකම සම්බන්ධය ලිංගික සම්බන්ධය විතරයි. ඒක ස්වභාවය. අනිත් සේරම ඒක වහගන්න කරන බොරු.*
“ඇත්ත. මිනිස්සුන්ට ඕනේ නැති මිනිස්සු බය කරන ඇත්තක් ඔයා කියන්න හදනවා. ඇත්තටම ඒ ඇත්ත මිනිස්සුන්ට වැඩක් නෑ... මිනිස්සුන්ට ඕනේ ඇත්ත වගේ බොරුවක්. ඔයා මිනිස්සුන්ට ඇත්තටම ආදරෙයි නම්, කරන්න ඕනේ අන්න ඒ ඇත්ත වගේ බොරුව හදලා දෙන එක.*
“විදර්ශනා, මට ඔයාව ඉඹින්න ඕනේ...*
“ඔය ඉතිං... ඔයා කිව්වා ඇත්ත ළඟ ඔයාටවත් ඉන්න බෑනේ... දැන් කිව්වා නේද මගේ ඇඟට අතවත් තියන්නේ නැතුව ඉන්නවා කියලා.*
“ඒක හරියට මම ඔයාට විතරමයි ආදරේ කියනවා වගේ බොරුවක්. මම යනවා.*
“කොහෙද?*
“විදර්ශනා, ඔය හිතන්නේ ඔයාගෙන් විතරක් මේ කතාව ලියන්න පුළුවන් කියලද? මට තව චරිත ඕනේ..... මම යනවා.*
“හා... යන්න.*
මම විදර්ශනාගෙන් මිදුනෙමි.
“ෂ්... ෂ්... නේලිත්*
“ඇයි?*
“කොහෙද යන්නෙ?*
“ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න පන්සලට යනවා.*
“බණ අහන්නද?*
“නෑ, බණ තේරුම් ගන්න. වචනවලින් තේරුම් ගන්න බැරි අවබෝධය හොයා ගන්නයි මට ඕනේ.*
“වචනවලින් තේරුම් ගන්න බැරි ඔය අවබෝධය හොයාගන්න, කතා කරන්න වෙන්නෙත් වචනවලින්ම තමයි.*
“හැබැයි ඒ වචන අපි දන්න වචනවලට වඩා අවබෝධයෙ සීමාවට ළඟයි කියලා මට හිතෙනවා.*
“විදර්ශනාව අඳුරනවද?*
“නෑ... කවුද විදර්ශනා කියන්නේ?*
“මම දන්න කෙනෙක් නේලින්*
“ඔයා දන්න සේරම මම දන්නවාද?*
“මං ඔයාට විදර්ශනාව අඳුන්වලා දෙන්නම්.*
“මොකටද?*
“මේ කතාව කියන් නේලින්.*
“මොන කතාවද, ඔයාට පිස්සුද?*
“අපි හැමෝගෙම ජීවිතවල කතාවක් තියෙනවා. ඒ කතාව තමයි කාලය තුළ සිද්ධ වෙන්නේ. හරියට චිත්‍රපටියක් වගේ. කතාව නැති මිනිහෙක් මේ ලෝකෙ නෑ. පටිගත නොකළට අපේ ජීවිතවලට කතාවක් තියෙනවා නේලිත්.*
“ඔයා කවුද?*
“ඔයාට කතා කරන්න දෙබස් දෙන්නේ මම තමා.*
“ඔයා කියන්නේ මම කතා කරන්නේ ඔයා දෙන දෙබස්වලින් කියලද?*
“ඔව්... ඔයා විතරක් නෙමෙයි, මමත් කතා කරන්නේ %මම^ දෙබස්වලින්...*
“මේක මහ විකාර කතාවක්නේ.....*
“ඔව්. හරියට හිතුවොත් හැම කතාවක්ම විකාර කතාවක් තමයි. හැබැයි ජීවත් වෙනවා කියන්නේ විකාර නොකරගෙන ඉන්න එකට.*
මම නෙලින්ගෙන් මිදී ලොකු හාමුදුරුවන් මුණගැසීමට පන්සලට ගියෙමි.
“කතාව ලියන මහත්තයා නේද?*
මම ලොකු හාමුදුරුවන්ට දණ ගසා වැන්ඳෙමි.
“සුවපත් වේවා!. මහත්තයා කතාව හදලා ඉවරයි නේද?*
“නෑ ලොකු හාමුදුරුවනේ... කතාව ලියන හැටි මම තාම හිතවා. නොලියපු, නොහිතපු කතාවක් මහත්තයාට ලියන්න බෑ. අනාගතය තුළ සියල්ල සිදු වී අවසානයි. අපි මිය පරලොව ගිහිල්ලා අපේ මේ ශරීරය පොළවට පස්වෙලා ඉවරයි. අනාගතය අනිවාර්යෙන් පැමිණෙන නිසා අපේ විනාශය සිදු වී අවසානයි. අවසානය සිදු වූ අනාගතයක වර්තමාන මොහොත තමයි අපි මේ ගත කරමින් සිටින්නේ. අනිවාර්යයෙන් අපි මැරෙන මිනිස්සු නම්, අනාගතය තුළ අපි මැරිලා ඉවරයි නේද?*
“ඔව් ලොකු හාමුදුරුවනේ... තරහ අවසර ඔබ වහන්සේ කියන ඔය හැම වචනයක්ම මගේ ඒවා...*
“මම දන්නවා. කතාව ලියන්නේ මහත්තයා නම්, ඒක එහෙම වෙන්න ඕනේ... කොහොමත් අපි කතා කරන වචන අපිට අයිති නෑ. එළියේ තියෙන වචන  අරගෙන අපේ හැඟීම් ප්‍රකාශ කරනවා. ඕක සත්‍ය නෙමෙයි.*
“ඔය වචනත් මගේ ඒවා ලොකු හාමුදුරුවනේ...*
“ඔව්. ඒකත් මම දන්නවා. සත්‍ය උපදින්නේ ගැඹුරු නිහඬ වීම තුළ.*
‘“ඕකත් මගේ වචනයක්*
“භාෂාවක අදහසක් නැතුව නිහඬ වෙන්නත් බෑ...*
“ඒකත් මගේ වචනයක් ලොකු හාමුදුරුවනේ...*
කිසිත් නොකියා ලොකු හාමුදුරුවෝ මා දෙස බලා සිටින විට,
“පොඩි හාමුදුරුවෝ ඉන්නවද ලොකු හාමුදුරුවනේ...*
“කතාව ලියන්නේ මහත්තයා නම්, පොඩි හාමුදුරුවන්ව ඕන තැනක මහත්තයට නවත්තන්න පුළුවන්නේ...*
“ඔව්, පොඩි හාමුදුරුවෝ ආවාස ගේ පැත්තේ ඉන්නවා... මම යනවා පොඩි හාමුදුරුවෝ මුණගැහෙන්න.*
මම ලොකු හාමුදුරුවන්ට වැන්දෙමි.
“සුවපත් වේවා! ආගම දහම සම්බන්ධ වෙන හින්දා ඔය කතාව පරිස්සමට ලියන්න.*
“ඔය දෙබසත් මගේ එකක් ලොකු හාමුදුරුවනේ* කියා මම ලොකු හාමුදුරුවන්ගෙන් ඉවතට ගියෙමි.
“මෙහෙම ගියොත් සිංහල ජාතිය වඳ වෙනවා. ජාතිය නගා හිටවන්න අපි එකතු වෙලා මොනවා හරි කළේ නැත්නම් අපේ දරුවන්ට මේ රට අහිමි වෙනවා. නිවන් දකින වැඩේ පැත්තකින් තියලා අපේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා යන මේ අනතුර ගැන කියලා දෙන්න.*
“ඥානලෝක පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන ඔය හැම වචනයක්ම මගේ ඒවා... මමයි ඔය වචන ඔබ වහන්සේට දුන්නේ...*
“මෙන්න තවත් එන්.ජී.ඕ. ඩොලර් කපුටෙක්. මහත්තයාට ඔහොම කතා කරන්න කීයක් ගෙවනවාද?*
“ඔය දෙබසත් මං හිතපු එකක් තමයි.*
“මහත්තයා හිතන්නේ මම අනුන්ගෙ වචන කතා කරනවා කියලද?*
“ඔව්, අපි හැමෝම අනුන්ගේ වචන, අනුන්ගේ අදහස් තමයි කියන්නේ... *
“සිංහල බෞද්ධයාට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් රට ඇතුළෙ ක්‍රියාත්මක වෙනවා. ඔබතුමත් ඒ වැඩේ හවුල්කාරයෙක් වගේ...*
“මම හිතන දෙබස් ඔබ වහන්සේ කියනවා.*
“අපි කතාබහ කරන වචනත් අපි නිතර ගන්න හදන්නේ.... හරි හමන් පාලකයෝ රටේ නැති උනාම ඔහොම වෙනවා...*
“කමක් නෑ, ඔබ වහන්සේ කතා කරන්න. මං හිතාගෙන ඉන්නේ ඔබ වහන්සේට මේ වගේම දෙබස දෙන්න.*
“මේ මහත්තයෝ තවත් වෙලා මෙතන හිටියොත් මං ඝන්ඨාරය ගහලා ගමේ මිනිස්සු මෙතනට ගෙන්නනවා. කුමන්ත්‍රණකාරයෝ හැම තැනම.*
“නෑ... මං හිතුවොත්, මම දෙබස් දුන්නොත් තමයි පොඩි හාමුදුරුවන්ට එහෙම කරන්න පුළුවන්.* කියා මම පොඩි හාමුදුරුවන් අසලින් ඉවතට ඇවිදගෙන ගියෙමි.

Comments

Popular posts from this blog

මාක්ස් කියවමු 3

මාක්ස් කියවමු 9